කඳ කුමරු ලංකාවට පැමිණ කාරක නම් අසුරයා විනාශ කොට ලංකාව බේරා ගත්තාලූ

කතරගම කඳ කුමරු
කතරගම කඳ කුමරු
Kataragama Divya Rajottama
Kataragama Maha Devale, Sri Lanka

සිංහල ජනතාව අතර "කතරගම දෙවියන්" යන නමින් ද හින්දු ජනතාව අතර "මුරුගන්" යන නමින් ද අද වනවිට ඉතාම ජනප්‍රිය දේව විශ්වාසය ඈත අතීතයේ සිටම පැවතී තිබේ. ඉන්දියාවේ ලියා තිබෙන ආගම් ඉතිහාසයේ ඈතම වකවානුව වන සෘග්වේද සමයෙහි "වස්‌කන්ධ" යන නමින් හැඳින්වුණු දෙවියන් පසු කලෙක ස්‌කන්ධ නමින් ප්‍රකට වූ දෙවියන් යයි විචාරකයෝ විශ්වාස කරති. වේද සාහිත්‍යයේ එන තොරතුරු අනුව ස්‌කන්ධ දෙවියන් එකල ජනප්‍රිය දෙවිවරුන් වූ අග්නි, සෝම ඉන්ද්‍ර, මරුත් ආදී දෙවිවරුන් හා සම ලක්‌ෂණ හා තේජස දැරූ ජනතාවගේ හදවත්හි නිරතුරුව වැජඹුණු දෙවිවරයෙක්‌ විය. කලක්‌ ගතවීමේදී මේ තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වී ගොස්‌ බ්‍රාහ්මණ සාහිත්‍ය යුගය වනවිට මෙම දෙවියන් තව තවත් තෙදින් බලයෙන් ඔද වැඩි ගිය අයුරු එම වීර කාව්‍යයන් හි එන ස්‌කන්ධ පිළිබඳ තොරතුරුවලින් අනාවරණය වේ.

ඊශ්වර හෙවත් ශිවගේත් පාර්වතියගේත් පුතකු ලෙස ස්‌කන්ධ දෙවියන් හඳුන්වනු දකුණු ඉන්දිය කුමාර, කාර්තිකේය, සුබ්‍රමනියම්, මුරුගන් යන නම්වලින් ස්‌කන්ධ දෙවියන් හඳුන්වයි. මෙසේ ඉන්දියාවේ බලපරාක්‍රමයෙන් වැඩි ගිය මේ දෙවිදුන් පිළිබඳ විශ්වාසය ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ භාරතියන් සමග ලංකාවට පැමිණි බවත් එසේ සංක්‍රමණය වූ ස්‌කන්ධ භක්‌තික පිරිස්‌ රුහුණේ මැණික්‌ ගඟ අසබඩ ජනාවාස ගොඩනගා ගැනීම නිසා එම විශ්වාසයෙහි ලාංකේය කේන්ද්‍රස්‌ථානය කතරගම වූ බවත් ඓතිහාසික තොරතුරු අනුව සලකා ගත හැකිය. කතරගම දෙවිඳුන් යන නමින් එතුමන් හැඳින්වෙන්නට වූයේ මේ හේතුව නිසාය.

කතරගම දෙවියන්ගේ උපත පිළිබඳව විවිධ මතිමතාන්තර ගැබ් ව තිබේ. ඈත අතීතයේ කාරක නම් අසුරයෙක්‌ ලක්‌දිව දකුණු දෙසෙහි ජනතාව පෙළමින් සිය අණසක පතුරවා ගෙන සිටි බව සඳහන් වේ.

ඒ කාලයේ ඉන්දියාවේ කීර්තිමත් නිර්භීත සෙන්පතියකුව සිටි කඳකුමරු ලංකාවට පැමිණ කාරක අසුරයා විනාශ කොට එහි බලය සිය අණසක යටතට ගෙන ජනතාවගේ අතිශය ප්‍රසාදයට භාජන වන පරිදි පාලනය ගෙන ගියේය. ජන හදවත්හි ඇති වූ ප්‍රසාදයෙහි ඵල වශයෙන් එතුමා දේවත්වයෙන් පිදීමට ජනතාව පෙළඹුණු අතර සෙසු ප්‍රදේශවල ජනතාව අතරටද පැතිර ගියේය. තවත් ජනප්‍රවාදයකට අනුව කතරගම දෙවියෝ ප්‍රතාපවත් නරපරයෙකු වූ මහසෙන් රජතුමන්ය. කතරගම රාජධානිය කොට රජකළ මොහු අභාවයෙන් පසු දේවත්වයට පත් වූ බව ජනතාව සලකයි.

අනුරාධපුර යුගයේදී රුහුනේ මාගම විසූ ගැමුණු කුමරයා මැණික්‌ නදී තෙරෙහි පෙහෙවස්‌ සමාදන්ව භාවනානුයෝගීව සිටියදී කතරගම දෙවිදුන් ඔහු හමුවෙහි පෙනි සිට බුදුසසුන වනසන එළාර රජුට එරෙහිව නොබියව සටන් වදින ලෙසත් තමන් නිරතුරුවම ඔහුගේ සහායට පැමිණෙන බවත් සඳහන් කළැයි ජන ප්‍රවාදයෙහි සඳහන් වේ.

දුටුගැමුණු රජු විසින් දැන් කතරගම දෙවොල පවතින ස්‌ථානයෙහි එම දෙවොල මුලින්ම ගොඩ නගන ලද්දේ ද මෙයට කෘතගුණ වශයෙන් යෑයි සැලකේ.

කාචරගම (කතරගම) යෙහි මහා ස්‌ථුපය (කිරිවෙහෙර) පිහිටන බිමෙහි සමවත් සුවෙන් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ මහා ඝෝෂා නම් දෙවියෙකුට මතු සසුන බබුළුවන එම බිම ආරක්‌ෂා කරන්නැයි පැවරූ බව ධාතුවංසයේ සඳහන් වේ. මේ මහා ඝෝෂ දෙවිඳුන් කඳ සුරිදුන්ම බව විශ්වාස කළ හැකිය.

කතරගම දෙවියෝ දේහ විලාශය හා දරනු ලබන ආයුධාදිය අතින් ද වෙනත් බොහෝ දෙවිවරුන්ට ආරෝපනය නොවුණු තේජසක්‌ හා ආශ්චර්යයක්‌ මතු කොට දක්‌වයි. කඳ සුරිඳුන්ට මුහුණු සයකි. අත් දොළසකි. සිරුර රන්වන්ය. මයුර වාහනාරූඩය. කෙටේරියක්‌, දුන්නක්‌, හීයක්‌, පළිහක්‌, පොතක්‌, කඩුවක්‌, අඬකුසයක්‌, මුගුරක්‌, සැවුල් ධජයක්‌, සංඛයක්‌, තෝමරයක්‌ යන අවි දොළසක්‌ අත් දොළොසින් දරයි.

වර්තමානයෙහි සිංහල, ද්‍රවිඩ ආදී ජාති භේදයකින්ද හින්දු, බෞද්ධ ආදි ආගම් භේදයකින් ද ප්‍රදේශ භේදයකින් තොරව සියලු ලාංකිකයෝ මෙම දෙවිදුන්ට හිතාදර භක්‌තියකින් යුතුව පූජෝපහාර පවත්වන අතර තම දුක්‌ ගැනවිල්ලෙහිලා පිහිටට එන ආරක්‌ෂකයාණන් කෙනෙකු ලෙස සලකයි.

පාදුක්‌කේ විජයසිරි විද්‍යාරත්න
සාකච්ඡා කළා - හරින්දි ලියනගේ

Source: Nawaliya

කතරගම දෙවියන් තවුතිසා දිව්‍ය ලෝකයේ ජීවත් වෙනවා කතරගම ප‍්‍රධාන කපු මහතා